Wednesday, February 17, 2021

අග පිටුව, නිල් ගවුම, වයිල්ඩ් ඇපල්

 සමහර කතා වල ආරම්භයේදීම මම කරන්නේ පොතේ අග පිටුව පෙරෙලලා අවසන් ජේදය කියවලා කතාවේ මූල මැද අග මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඊට පස්සේ කියවන එක.

අනුන්ගේ ජීවිත කතා පොත් එහෙම කියෙව්වට මට  මගේ ජීවිත කතා පොතේ අග පිටුව බලලා මැද කතාව හිතා ගන්න වුනේ නෑ.

..................................

ශේන් පන්ති කලමණාකරු ජොබ් එකෙන් ඉවත් වෙලා වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අරින වහන කෙනා විදිහට පත් වීම ගන්න යන්නේ මගේ පත් වීම ගන්න මම අපේ සමාගමට බැදුනා වගේ දවසකමයි.

ශේන් හිනාවක් දාගෙන හවස ආවා අපේ ගෙදර උණු උණුවෙන් උළුදු වඩේ මල්ලකුත් අරගෙන. මල්ලේ අඩියෙ තිබුනෙ වයිල්ඩ් ඇපල්. පළතුරු යුෂ 😁

.................................

ජීවිතේ කියන්නෙම අමුතුම අමුතු තෝරා ගැනීමේ ඇප් වලින් පිරුණ ස්මාර්ට් ෆෝන් එකක් වගේ. බේසික් ෆෝන් එකක් භාවිතා කරනකොට අවශ්‍ය දේ විතරක් කරගෙන පැත්තකට උනාට දැන් එහෙම බැහැ. ඇබ්බැහි වෙලා ඉන්නේ. එක රෑක හිතනවා හෙට වයිෆයි ඩේටා ඉවර වුනොත් කොහොමද කියලා..ලෝකෙ ගිනි ගත්තත් ඒක තමා තියෙන ප්‍රශ්නය.

--------------------------------

ශේන් කවුරු වගේ වෙන්න පුලුවන්ද කියලා කවුරු හරි හිතුවොත් ඒකට උත්තරයක් දෙන හැටි හිතන වෙලාවක උගේ පරණ ඩයිරියට එබිකම් කලා.

දකින කොටත් ආදරේ හිතෙන තරම් මුහුණුවල අයිතිකාරියො මගේ ජීවිතේට ඇවිල්ලා තිබුනේම කිහිප දෙනෙක් විතරයි. ඒ අයගෙන් බොහෝ දෙනෙක්ට මම මගේ අදහස් සහ හැඟීම් බෙදා ගත්තේ ඇදට ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව!  මට බොරුවෙන් ජීවත් වෙන්න බැරි නිසා. අත කකුල බෙල්ල තොල් කොන්ඩෙ ලස්සනයි නම් ලස්සනයි කියන්නේ ඒ නිසා.

ඒත් සමහර වෙලාවට ඒ ආදරේ දැකපු තැන්වලදි ප්‍රමාදය ගැන මෙන්ම ඉක්මන් විම ගැන  ගොඩක් ලොකුවට කලකිරීම ඇති වුනේ නැතුව නෙමේ.

සමහර තීරණ අරගෙන හුඟක් කාලයක් ගත වුනාම තමයි හොදම දේවල් මිනිස්සුන්ට ලැබෙන්නේ.

සමහර තැන්වලදි මම සමහර ලස්සන ජීවිත වල අයිතිකාරියන්ට හොද යාලුවෙක් ඒත් මට දැනෙන හැඟීන යාළුවෙක්ට එහා ගිය දෙයක්, මම විශ්වාස කරන්නේ ඒ එන හැඟීම බෙදාගෙන ඒත් යාළුවෝ කියන සීමාවේ හැසිරුනාම දැනෙන වේදනාව අවම වෙනවා කියන එක.

උඹ දන්නේ නැති වුනාට සමහර හීන වල සති අන්තයේ පන්තියේ  කවුරුත් නැති වෙලාවට මට තුරුල් කරගෙන ඉන්න විදිහ ගැන මම කියන්න හිටියත් ඒ අර කියන සීමාව ගාව හිටගෙන බලලා ආපහු හැරිලා යන්න වුනා හීනෙන්ම දකිනකොටත් දුකයි.

හැම දේකටම වඩා නුවර එළියෙ රන්බොඩ ස්ටේට් එකේ තනිවෙච්ච ජීවිතයක මතක සලකුනු උඹෙ මූනෙන්  දකිනකොට මම කටුසු කොන්ද කන්ද උඩින් වැටෙනවා වගේ අසරණ හැඟීමක් එන්නෙ. උඹ වෙන කාගෙවත් වෙන්න කලියෙන් නිල්පාට ගවුම ඇදගෙන ආපු දවසක වල ගැහෙන කම්මුල උඩට ලොකුම ලොකු හාදුවක් දී ගන්න තිබුන නම් කියලා හිතෙනකොට ආයෙත් අර වැටුනු කන්දේ තාමත් වැටෙන ගමන් ඉන්නෙ කියලා හිතෙනවා.

ආදරේ ඇති වෙන වෙලාව නැති වෙන වෙලාව ගැන අවබෝධයක්ම නැති වෙලා තියෙන්නේ. අපි හෙන ආත්මාර්ථ කාමී මිනිස්සු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා ඒ වගේම අවස්තාවාදීන් කියලත් හිතෙනවා. එක හිතක් තියාගෙන දෙන්නෙක්ට ආදරේ බෙදන්නේ කොහොමද කියලා තරක කරන ගමන් අහිමි උඹව මගේ ඔඩොක්කුවේ වාඩි කරගෙන ඉන වටේ අත දාගෙන තදට තුරුල් කරගෙන , කඩා දාපු කොන්ඩේ තියෙන් උර්හිස්ඩට මගේ නිකට තියාගෙන උඹේ හිත ගැහෙන හැටි අහන් ඉන්න හීන දකිනවා.





වයින් බෝතල් දෙකකටවත් බෑ ඒ වගේ හැඟීමක් දෙන්න.

සෙරටම වඩා ආයෙත් ඒඇස් දෙක දකින්න නොලැබෙයිද කියලා කල්පනා කරේ ඒ වගේ දේවල් මගේ ජිවිතේට සාමාන්‍ය දේවල් නිසා . " ආදරේ දැනුනු , ආදරේ දුන්නු ජිවිත ඉක්මනට මගෙන් ඈත් වෙන බව"  පොඩි කාලෙ ඉදන්ම් දැනගෙන හිටිය නිසා හිත අමුවෙන් හීරිලා යන්ව වගේ හැඟීමට එහායින් කිසි දෙයක් ආවේ නෑ.

............................................

ශේන් ගේ සිතීම ගැන හිතනකොට මට පුදුමයි කොහොමද මූ මෙහෙම ජීවත් වෙන්නේ කියලා. ගුටි නොකා බේරිලා!

මොනා වුනත් සැනසිල්ලේ ඉදපන් ශේන් මල්ලි..සමහර හීන හීන විදිහටම තියගනින්..උඹ හිතන විදිහට උඹ ආදරේ කරන මිනිස්සු හිතන්නේ නෑ. සමහර වෙලාවට උඹට ආදරේ කරන්නෙත් නෑ..

ටටා..

කවී..



Wednesday, February 3, 2021

විදේශිය හා ස්වදේශික පර්වථ

 මිනිස්සුන්ට ඕන තමන්ව හදා ගන්නවට වඩා අනිත් එවුන්ව හදන්න. 

සමහර කතා තියෙනවා හරිම පුදුම විදිහට පටන් ගන්න ඒවා සහ එතනින් එහාට සිතන්නත් යමක් ඉතුරු කර ඇති කතා. 

මිනිස්සුන්ගෙ මූනට විතරක් නෙමේ ඇස් වලට කතා බහට හැසිරීමට ආදරේ කරලා බලපන් ඒක තනිකර මත් ද්‍රව්‍ය වගේ තමා. ඇබ්බැහි වෙනවා ඒ තරමට.

වනචාරි කියන සිතුවිල්ලෙන් ආදරේ වෙන් කර ගන්න ඕන නම් ඒ කියපු දේ කරන්න වෙනවා..

එක තැනක එක සින්දුවක තියෙනවා.. " දණහිසෙන් උඩ අඟලක් දැක්කත් සිල් බිඳගෙන" කියලා.

ඒකෙ ඇත්තක් නැතුවමත් නෙමේ! ඒත් පුදුම දේ කියන්නේ  විදේශීක කාන්තාවක් කොටම කොට ඩෙනිම් කලිසමක් ගහන් පාරෙ ඇවිදගෙන ගියාට කොල්ලොන්ගෙ හැඟිම් ඇවිස්සෙන තත්වය ඉතාම අඩු මට්ටමක තිබීම.

උදා හරනයක් විදිහට ගෝල් ෆේස් එක ගාව ඉන්න අගල් දෙකහමාරක තුනක  ඩෙනිම් ශෝටක් ගහපු සුද්දියෙක් දැක්කම් කොල්ලෙක් තමන්ගෙ ලඟ ඉන්න යාලුවට ශේප් එකේ ඇනලා කියන්නේ නෑ ශේප් එකේ බලපන් අර පර්වථය දිහා කියලා. හැබැයි ස්වදේශික කෙල්ලෙක් අඩි එකහ මාරක දෙකක ගවුමක් ඇදන් හිටියොත් අනේ වාසනාවන්! එහා පැත්තේ ඉන්න යාලුවට වැලමිටෙන් ඇන්නා හෝ නැතා  හෝ ඇහැ ලාවට කරවල බලනවා.

සමහර විට විදේශිය හමකට වඩා ඔලිව් පාට ස්වදේශික හම ආකර්ශනීය ඇති. යම් මට්ටමකට. 

වැඩි හිටි කාන්තාවන්ට අනුව නම් විලි බිය නැති වුන් කියලා කැටගරි කලාට. එහෙම ඇන්දාම කෙල්ලෙක්ට හොද නෑ කිව්වට..පිරිමි ඇවිස්සෙනවා කිව්වට. බොහොම අතලොස්සක් විතරයි ඔය කියනා කකුල් ලිංගික අවයවයක් විදිහට දකින්නේ. අනිත් එවුන්ට ඒ නිකන්ම කකුල් දෙකක් විතරයි. තට්ටමෙන් භාගයක් එලියෙ නැත්නම් අවුලක් නෑ නේ.



සමහර වෙලාවට මිනිස්සු නැතුවම නොවේ ඔය කියන කකුල පෙන්නලා මාකට් කරන, ලොක්කගෙන්  ශේප් එකක් ගන්න බලන, අනිත් කෙල්ලට වඩා ටිකක් හරි තමන්ගේ කකුල පෙන්නලා චුට්ටක් කැපී පේන්න බලන.

ඒ නිසාම වෙන්නැති සමහරු ඇදන් ඉන්න ගවුමත් ඉනෙන් වට තුන හතරක් රෝල් කරලා උඩින් බල්වුස් එක දාගෙන කකුලෙ එක මට්ටමක් වෙනකන් ප්‍රදර්ශනය වෙනවද කියල සහතික කරගෙන් රාජකාරි පටන් ගන්නේ. ඇයි ?  තමන්ට වඩා කෙනෙක් කැපිල පේනවට සමහරු කැමති නෑ.  මූණ කැත තැන කකුල හරි පෙන්වා ශේප් වෙමි කියලා බොස් ගාවටම රිංගා කේලම් කීමෙන් සහ තවත් තමා වැනිම කෙනෙක් පිරිසක් අතර ගිහින් තවත් කෙනෙක් පහත් කරමින් කතා කරන එක වෙනමම අත්දකීමක් වෙන තරමට ලෝකෙ දියුනු වෙලා.  

ශේන් කියනවා වගේ.. සමහර ඇදුම් වලින් යම් තාක් දුරකට මිනිස්සුන්ගේ ආදායම මනින්න පුළුවන් වුනාට මිනිස්සුගේ චරිතය හැදියාව මනින්න බෑ.

මූන විතරක් එලියට පේන්න අදින කෙනා වුනත් කොලිටීස් කියන දේ නැත්නම් වැඩක් නෑ..

ටිම්රාන්ගේ පොඩ්ඩියේ  ගීතයේ අවසන් භාගයෙර් පද ටිකක්..

මත් වුනු ඹඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා"

රත් වුනු යකඩ ලෝ කුරු ගෑනුත් තැලුවා..

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේ මොනවා..

"පත්තිනි සළු වලත් ඇත් තුත්තිරි තිබුනා"


ආසෆ් අවිඩාන්ගේ (Asaf Avidan) බේබි වන්ඩේ (one day - baby) ගීතයෙ වීඩියෝව නරඹන්න තරම් අපේ මිනිස්සු දියුණුවෙලා නෑ!


ටටා..

කවී..





Wednesday, January 20, 2021

රෝස් පාන්


 

චලතාපී මාළුවා හා හැඟීම් චාපී මිනිස්සු.

එක මැසේජ් එකක්..දෙකක්..නෑ ම් දිගට හරහට මැසේජ් සීයක් විතර..ඔව් ශේන්!

 දන්නවද කවී අයියේ! 

ආදරය කරන මීස්සුන්ට කරදරයක් වෙලා කියලා දැනුන ගමන් කරන්න ඕන ඒ අයට  නිදහසේ ඉන්න දෙන එක. ඉදලා හිටලා අපි අපේ ජීවිත වල ඇතුලාන්තයේ නැවතුනු මිනිස්සුන්ව පරික්ශා කරලා බලන්න ඕන.

දවසක් දෙකක් මැසේජ් එකක් නොදා ඉන්න ඕන.

පලවෙනි දවසෙ අවුලක් නෑ! දෙවෙනි දවසෙත් අවුලක් නෑ..තුන්වෙනි දවසෙ සමහරවිට අහන්න පුලුවන් ඇයි කතා නොකරන්නේ කියලා. හැබැයි ඊට පස්සේ උඹ ඔය මහා අමුතු ආදරයක් ඇල්මක් දක්වන මිනිස්සු උඹ කියන දේ නැතුව ඉන්න හැඩ ගැහෙනවා. මාලුවො චල තාපි වගේ මිනිස්සු හැඟිම් චාපී නැත්නම් සිතිවිලි චාපීන් බවට පත් වෙලා අදාල අවස්තාව අනූව හැඩ ගැහෙනවා

................


දැල් ගහල වැටවල් බැදලා තියෙනේ ලයිට් එලිය නවත්වන්නද නැත්නම් ලස්සනක් දෙන්නද ශේන්? මිනිස්සු දකින විදිහ වෙනස් මල්ලී ආදරේ කියන දේ...


හැබැයි.....

 වෙන්න ඇති කෙනෙක් නොලැබෙන බව දැනගෙන ආදරය කරන එක හරිම විකාරයි කියල හිතුනට. ඒ වගේ දැනෙන හැඟීමකට උඹගෙ අතේ ඇගිලි එහාට මෙහාට කරලවල ඒ මූණ නිකම් හිස් පිටුවක සිත්තම් කරවන්න පුලුවන්, ඒ වගේම හයිකු එකක් කවියක් විදිහට ඒ චරිතය එලියට එන්න පුළුවන්.

ඒත් එක අවස්ථාවකදි උඹට උඹට රිද්දවගෙන එහෙම ටිකක් දුරින් ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ නැද්ද ශේන්.. කොහොමත් උඹට ඒ ආදරේට අයිතියක් කියන්න බෑ නේ නේද?

ඔව් ඒත් වෙන ආදරයක් නැති මනුස්සයෙක් ගාව ඒ ආදරේ නවතිනව දකින්න මම කැමති නෑ.

උඹ කොහොමද ශේන් තීරණය කරන්නේ හරියටම ඒ කෙනා ලඟ ආදරයක් නැතුව ඇති කියලා. මට හිතෙන්නේ උඹට තියෙන්නේ එක විදිහක ඉර්ශ්‍යා කාරී හැඟීමක්.

ඔව් වෙන්න ඇති..ඒක පිළි ගන්න ඕන මම..මොකද ඇත්තට සමහර දවස්වලට සැප දුක අහන , කන බොන එක ගැන අහනකොට කරුමෙට හිත සන්සුන් වෙනවා මන් ගැන එක මනුස්සයෙක් හරි හොයලා බලනවා නේද කියලා. ඒක එතකොට බලාපොරොත්තුවක් වෙනවා අපේ ජීවිත වලට, ඒ වගේම ඒ කෙනා මීට ට්ක කාලෙකට කලින් හම්බවුනා නම් කියලා හිතලා දුකක් එක්ක ඉර්ශ්‍යාව කියන දේ වෑල්ඩින් වෙන එක නවත්වන බෑ.

ඉතින් ආදරේ කරන මින්ස්සුන්ට ඇන්කර් එකක් වෙලා වදයක් වෙනවට වඩා ඒ නිනිස්සුන්ට නිදහසේ යන්න දෙන එක හොදයි කියලා හිතුනා, හිත රිද්දගෙන හරි..

කවි අයියේ වරා මල්  පිපිලා තියෙන හැටි බලන් ඉන්න මම ආසයි! ලස්සනටම පිපිලා ඉන්න හැටි දැක්කා සතුටුයි! ඒත් වෙන් වීමක් නමත් එක්කම තියෙනකොට දුකයි .මට බෙහෙත් ඕන ඒකට.

බෙහෙත්ද ඕන මල්ලී..

ඔව් කවි අයියේ '''

බෙහෙත් නෑ නේ මල්ලී....

යකෝ උඹ නම් මහා සාපයක් කවි අයියේ! විහිළු පටන් ගන්න තැන දන්නෙත් නෑ ඉවර කරන්න ඕන තැන  දන්නෙත් නෑ 

හරි මල්ලි හරි..උඹේ වරා මලේ ඩිජිටල් ඉන්ක් ආර්ට් එකක් මන් ගානේ ඇදලා දෙන්නම් . කලි යුගයට ගැලපෙන විදිහට.. හා ද.?..

ඕකේ කවි අයියේ එහෙනම් ඉක්මනින් දවසක චිත්‍ර දෙකම ඒ කෙනා අතින් තියන්න පුළුවන් වෙයි නේද.. ස්තූතියි..

දැන් පෝ.. පෝර පෝ..ශේන්!


හෙට හම්බවෙමු...

ටටා..

කවී 




Sunday, January 17, 2021

ශේන් ඇස්ප්‍රීන් සමඟ ඇබැද්දියා කුමරු හා චිකුබා කුමරියගේ කතාව.

 එහා පැත්තෙන් හිටපු එකා ශේන් නොවුනත් ඉදලා හිටලා කතා කරන එකා ශේන්! එතකොට හොදම යාලුවා නොවුනත් ඒ මට්ටමට ඉන්න එකා ශේන්. පාන්දර දෙකට තුනට ජිවිතත් එක්ක සෙල්ලම් කරන එවුන් හම්බවෙන්නේ හේතුවක් නැතුව. 

තමන්ට ලැබුනු දේවල් නැතිකර ගන්න මිනිස්සු සෑහෙන්න ඉන්නවා! ඒ අතර මෝඩ කමට දේවල් නැති කර ගන්න එවුන් අංක එක. උන්ට තියෙන ආදරේට උන් කරන දේ වැරදි බව තේරුම් කරලා දුන්නම රිටර්න් එක හැටියට ලැබෙන්නේ. එහෙම්ම ටික කාලෙකට අතුරු දහන් වීම.

මිනිස්සු හරිම පුදුමයි තමන් ආදරේ කරපු එකා තව එකෙක්ට ආදරේ කරන හැටි බලලා සතුටු වෙනවා, නැත්නම් ඒකට අකුක් හෙලනවා .

මිනිස්සුන්ව තෙරුම් ගන්න එක වෙලාවකට ලේසි වැඩී. කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නකම් ඒකි පණ, නැත්නම් හෙන ලව් එක, මගදි නැවතුනොත් ඒකි, ඒකිගෙ නංගි අම්මා සහ ආශ්‍රය කරන යාළුවො ඉදන් වටේ ගිය බඩු . අපෝ උඹ වටේ යන ගෑනියෙක් මට තෝ එපා කියලා ගියපු මිනිස්සු, යාලුවෝ එක්ක කියන්නේ අනේ මට නම් ආයෙ ඒකි එපා කියලා හැබැයි යතාර්තය අඬ අඬ වැලලෙන්න හදනවා! හොටු පෙරාගෙන. බැනපුව කියපුව අමතක කරලා ආයෙත් ආදරෙන් ඉමු කියලා.. සංසාරේ!.

........................

කවී අයියේ!

ඔව් ශේන් කියහන්..

මේ අයියේ ස්ලීපින්ග් ටැබ්ලට්  නැද්ද?.

නෑ පිරිටන් නම් තීනව ඕනද.?

එපා අයියේ මට විස්කි බෝතලයක් ඕන.. ක්ලාස් එකේ ටියුට් රූම් එකේ අර කෙල්ලත් එක්ක තුරුල් වෙලා ඉන්න හැටි. කවුරුත් කාර්ඩ් මාක් කරන්න එන්නේ නැති වෙලාවක් බලලා ඒ කෙල්ලගේ තොල් මොන රසද කියලා බලන විදිහ මතක් වෙනවා . ඒ කෙල්ලට යන්න ඇරලා පිටි පස්ස කොනිත්තපු වෙලාවල් ගැන මතක් වෙනවා.මට හිතා ගන්න බැහැ මොනව කරන්නද කියලා.

මල්ලි ඇස්ප්‍රින් පෙත්තක් දෙන්නද උඹට?

අයියේ මේ විහිලු කරන කාලයක් නෙමේ! 

දැන් උඹට මම විහිළු කරන්න ඕන පස් මහ බැලුම් බලලද. මගෙන් මහාප්‍රාණ අහගන්නේ නැතුව ඉදින්!

හරි සීන් එකට එන්ටර් වෙමු ..කවි අයියේ මන් ගැන කවියක් ලියලා දෙන්න බැරිද?.

පුළුවන්..හැබැයි මට ඇස්ප්‍රීන් කාඩ් එකක්ම බොන්න වෙනවා. හැබැයි කෝම හරි උඹට එකක් ලියල දෙනවා.

අන්නේකයි! කව් අයියේ ඒක ලියලා මගේ ෆොටො එකකුත් දාලා ලස්සනට හදලා තමුසෙගේ පේජ් එකට දානවකෝ! එතකොට අර කෙල්ලට මට නිකන් වැඩ්ඩා වගේ ලින්ක් එක දාන්න පුළුවන්.

හූම්..බලමු ඉතිම්!.

දැන් උඹේ ඔය ප්‍රේමයේ තත්වය කෝමද?

අවුලක් නෑ නමුත් සමහර දේවල් දැනෙන්න තරම් ලබා ගන්න වෙලාව මදි .. ඒ නිසා මන හිතාගෙන ඉන්නෙ කෙල්ලට සැටර් ඩේ හරි සන්ඩේ හරි ඕවර් ටයිම් කියලා නැත්නම් යාලුවෙක්ගේ ගෙදර යනවා කියලා ටියුට් රූම් එකට ගිහින්  ක්ලාස් එකේ ළමයි එයිද නැත්නම් ටීචර් කෙනෙක් එයිද කියලා බයේ ගැහි ගැහි ඉන්න එක අමතක කරලා අපි විතරක්ම ඉන්න විනාඩි දහයක් ගත කරන්න..හැබැයි ඉතින් ඒකත් ඒ කෙල්ලගේ අවසරය මත තමා කවී අයියේ !

ශේන් උඹයි ඒ කෙල්ලයි රැල්ල පාගලා නෑවට කමක් නෑ මුහුදෙ..මොකද උඹලා දෙන්නගෙම කැමැත්තෙන් නේ හැමදේම වෙන්නේ..ඒත් එක එක මාලු කාරයොන්ගේ දැල්වලට අහු වෙන්න එපා.

ඒක හරි කවි අයියේ. අපි දෙන්න අපේ ගමනාන්ත ඇන දැනගෙනයි මේ ආදරේ බෙදා ගන්නේ. ඒ කෙල්ල දන්නවා මමත් ඒ කෙල්ලට ආදරෙයි කියලා. ඒ නිසා කතා බහ කරලා අපි අපේ හැඟීම් වලට ඉඩ දීලා තියෙනව. අපිට අපිවම සැක කරන්න ඕන නෑ. මොකද අපි අපේ සැබෑ ජීවිතේ ගැනත් දන්නවා..

හරි ශේන් එහෙනම් පරිසමෙන්!

මම යනව බන් වැසි මන්ත්‍රය මතුරන්න..අපේ එකෙක්ගේ වෙඩින් රැග් එක දීලා ආවා විතරයි උඹ ගත්තා රෙද්ද..


මේ ඉන්නේ දොඩම් ගොඩගේ ප්‍රොබෝද ශශීන්, (ඇබැද්දියා කුමාරයා) අගනා වු තම කොස්කොල ඔටුන්න හිසේ පැලදගෙන රජ වෙලා තමන්ගේ අන්තපුරයේ පලවෙනි වේකන්සිය පුරවා ගැනීමේ පලමු පියවර  විදිහට සරණ පාවා  ගන්න යන අග බිසව හිමාශී පෙරේරා නොහොත් චිකුබා සචී කුල කුමරියට තමන්ගේ රාජ සීමාවේ තමන්ට අයිති ගොවි ඉඩමක වහලා ඉන්න කොකෙක් පෙන්නලා..කොකා පෙන්වන අවස්තාවක්..

රජ වුනත් ඌට වැඩි දවසක් කොකා පෙන්නගෙන ඉන්න හම්බවෙන්නේ නෑ කියලයි තතු දන්න උදවිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.!

මොන මඟුල වුනත් උඹලාට සුභ ගමන්! එදාට එන්නම් හොදේ නගුලත් අරගෙනම වෙඩිමට.. හාන්න...


ටටා...

.කවී.




Tuesday, January 12, 2021

ගරුඩා , කුණු ටැක්ටරේට හීන පැටවීම..

 අර එක තැනක තිබුණ හොද යාලුවෝ කියන කැරක්ටර් එක කපලා අයින් කරලා දැම්මා.  මිනිස්සු ආදරේ හොයන්නේ අමුතුම තැන වල.

සදුදා උදේ පාන්දර එන කුණු ට්‍රැක්ටර් එක කුණු කුණු කියලා කෑ ගහනකොට මට කීප සැරයක් හිතුනා ඔය රැවටීම් කරපු මිනිස්සුන්ගේ නම් ගම් එක්කම කලු පාටක උරේකට දාලා කුණු ට්‍රැක්ටර් එකට දාලා කුණු එකතු කරන අයියගෙ අතේ පනහක් සීයක් රුපියල් වලින් ගුලි කරන්න.



ඒත් ලොකුම තැන් වල ඉදලා දූශනයට පගාවට විරුද්ධව ක්‍රියා කරනවා කියලා පෙන්වන මිනිස්සු වගේ නෙමේ පොඩි තැන්වල මිනිස්සුන්ගේ හිත්. 

ඒ කුණු සේරම අරගෙන එක පාරටම ඇහුවේ. මහත්තය මේ කුණු දිරන්නේ නැති ඒවාද දිරන ඒවාද නැත්නම් කලවම්ද. අපි ගන්නේ වෙන් කරපුවා විතරයි.

මම ටිකක් වෙලා කල්පනා කලා! ඇත්තටම ඒ මතකයන් දිරන්නේ නෑ නේද කියලා. ඉතින් කොහොමද මම රවට්ටලා දෙන්නේ ඒක කුණු ට්‍රැක්ටර් එකට..

.................................

 අත කාපු ගරුඩා සිහි මුර්ජා වෙලා ඇද යට වැටිලා ඉන්නකොට හොයා ගත්තේ .. පස්සෙ ඌව අරගෙන වෙද මහත්තයෙක් ගාවට ගිහින් උගේ විශ බහින්න බෙහෙත් කලා..

ගරුඩාට බලු බැනුම් සර්ප වෙදාගෙන්! ඌව කාපු ගමන් දල දෙකේ වත් රතු ලූණු කැල්ලක් උලච්චි කලේ නෑ කියලා.

කොහෙද ගරුඩට කතාකරගන්න පණ නෑ..යන්තම් බෙල්ල ගාවින් උස්සලා මොනවද කිව්වා විතරයි. හොස් ගලා පණ ගියා..

මම සංවේදී මනුස්සයෙක් නෙමේ කියන්නේ කවුද.. එදා තමා මට තේරුනේ වේදනාව සහ අහිමි වීම කියන දේ..

සුලුවට හරි අවසන් කටයුතු කරන්න ඕන නිසා. පොඩි ගිනි පෙට්ටියක සතපවලා. කූඹි සෙට් එකකගෙ කර මත්තෙන් අවසන් ගමන් යන්න දුන්නා. හේවිසි නැතත් කොටුවෙ පේමන්ට් එකෙන් දාහකට ගත්ත ජේ බී එල් කොපියෙන් කාවඩ් බයිලා මියුසික් එකක් ප්ලේ කලා.



ගරුඩව හැමෝම දන්න නිසා පී සී ආර් කරන්න කිව්වේ නෑ. ගරුඩට කොරොනා නම් කරුමෙට හරි බෙහෙත් කරපු වෙදයි කාපු මායි දෙන්නම ඉවරයි...


ටටා.

.කවී.

Saturday, January 9, 2021

පාප්ප භාජනේ , වෙසක් සැරසිලි හා බකට් එක.

 2009/05/03 

 ජීවිතේ කොහේ හරි මුල්ලක ඉන්නවද උඹ ආදරේ කරපු යාළුවෙක්? සමහර තැන් වලදි හිතුන අනේ මේකා මගේ වුනා නම් කියලා හිතෙන? ඒ චුටියට හිනාවෙන හුරතලේට ලඟ කැරකුන... ඒත් ඒ වෙනකොටත් ඌ ඉස්සර වෙලා තිබුන? උගේ කොල්ලත් එක්ක වැලන්ටයින් සමරන්න උඹට කියලා ඩෙකරේශන් දා ගත්ත මොහොතක්! ලියන කොලේ ඉරලා දාලා මාත් උඹට ආදරෙයි කියන්න ඕන වුනත් වෙනදටත් වඩා ඕන කමින් ඉල්ලපු දේ හොදට කරල දීපු අතීතයක්.

සුදු කලිසම ඇදගෙන ඇන්ද නවපු පුටුවක් උඩ නැගලා  සැරසිලි කරනකන් උඹ ගාව පහලට වෙලා උස මදි නිසා පාප්ප භාජනේ අල්ලන්න ඒක ඔළුව උඩ තියාගෙන හිටපු එකෙක්ට හිතින් ආදරේ කරලා බලපන්! 

හයේ හතේ කතා කරලවත් නැති එකෙක්ට තිබුන ඇල්ම ටිකකින් මේකා හොරකම් කර ගත්ත හැටි පුදුමයි.


2009/08/12

ඌ උගේ ගමන යනකොට උගේ කොල්ලගේ හොද නරක බලන්න කොල්ලගේ හච් නම්බරේට කෙල්ලෙක් වගේ මැසේජ් කරලා  ඩේලි අප්ඩේට් එකක දීපු ජීවිතේ හොදයි කියලා හිතුනවෙලාවල් තියෙනවා.



අවුරුද්දකට සැරයක් ඩෙස් පුටුවල තීනත ගානකොට මාමා එක්ක හරි බාප්පා එක්ක හරි ඒකත් සෙනසුරාදා එනකන් බලන් හිටපු වෙලාවක් තිබුනා. ආපු කාට හරි ඒකා මාවා අදුන්වලා දෙනකොට මේ ඉන්නේ මගේ හොදම හොදම යාලුවෙක් අයියා කෙනෙක් වගේ කියලා කියනකොට. අර තිබුනු හැඟීම ආඩම්බරයත් එක්ක වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නැහැ. ඒත් මොනව කරන්නද ඉස්සර වුනා මම ඉස්සර වෙන්න කලින්.

2009/10/03

ඒකි මගේ ජීවිතෙන් ඈත් වෙලා ගියා වගේම වෙන ජිවිතේකට ලං වෙන්න..ආයෙත් පරන ජීවිතේ හිටිය කෙනා ලඟ මම ඉස්සර වෙලා මටම කියලා කෙනෙක්ගේ අයිතිය ගත්තා.

මම මගේ පාරේ අත් අල්ලන් යනවා උඹත් ඒ පාරෙම අත් අල්ලන් යනවා. ප්‍රශ්නයක් නෑ ඒ බැදීම් තාම එහෙමයි..

2014/06/09

හැමදාම වගේ තාමත් අමතක නොකර උපන්දිනේට සුභ පතනවා. නම්බරේ මතකද ඇහුවම..කටපාඩමෙන් කියනවා! මම හැමදාම වගේ පිලි ගන්න කැමති නෑ මූ මට ආදරේ කෙරුවේ නෑ කියලා. ඒත් මම බලාගෙන ඉන්නවා තාමත් එක එකා ගාවින් ආදරේ හොයාගෙන යන හැටි. මම එක තැනක නැවතිලා ඉන්නත් මේකා එහේ මෙහෙ දුවන්නත් හේතුව විදිහට මට හිතුනේ කොහේ හරි තැනක් හිත අස්සේ  ඕන කියනා දේ ලැබුනේ නැති නිසා දැනුනේ නැති නිසා යනව ඇති කියලා. නිතර කතා නොකලත් බලාගෙන හිටියා ජීවිතේ දිහා.

2015/09/11.

හදිසියේ දවසක් එකසිය විස්ස බස් එකේ කැම්පස් එක හරිය පහු කරනකොට ස් ස් ගාන සද්දයකට හැරිලා බැලුවම මෙන්න මේකා වාඩි වෙලා හිනා වෙවී ඉන්නවා මන් දිහා බලලා. මූණ බෝල ගෙඩියක් වගේ වෙලා. රෝස පාට වෙලා මුලු ඇඟම නිකන් බෝලයක් වගෙ වෙලා. හොදම යාලුවා ළඟින් වාඩි වෙනකොට ආයෙත් මට දැනුනෙ ඉස්සර සුවඳමයි. අල්ලලා කම්මුල් දෙක මිරිකන්න හිතුනත් අමාරුවෙන් ඒ ආසාව තද කරන් හිටියා හේතු දෙකක් නිසා. පලවෙනි එක බස් එක දෙවෙනි එක අපි අපේ පාරවල් වල ගොඩක් දුර ඇවිත්. ඒ නිසා මේ ඉන්නේ ආදරේ කරපු හොදම යාළුවෙක් විතරයි. 

ශේන් දැක්කේ නෑ වගේ යන්න නේ හැදුවේ?

අනේ නෑ කෙල්ල මහත් වෙලා..එකනේ බන් අදුරගනා බැරි වුනේ..ලස්සයි ඒත් ඉසර විදිහත් ලස්සනයි බන්..

මොනවා කරන්නද ශේන්..බලෙන් මහත් වෙන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් කෑ ගහනවා බන් මහත් වෙන්න මහත් වෙන්න කියලා..උගේ වුවමනාවට තමා මේ දන්න හැමදේම කරන්නේ මහත් වෙන්න.. බලපන් ශේන් උඹේ හැටි..උඹත් අලියා වගේ වෙලා..පැණියක් වත් ගහනවද තෝත් මහත් වෙන්න..

පිස්සුද බන් මම කාලා බීලා ඔෆිස් එකේ වාඩිවෙලාම තමා ඉන්නේ ..ඒකයි රහස.

මේ බන් මම මෙතනින් බහිනවා ෆොන් එකක් බලන්න ආවෙ ..පස්සේ දවසක සෙට් වෙමු..නම්බරේ දීන්.

බෑ බන් ශේන් කොල්ලා කැමති නෑ කා ගාවවත් නම්බර් එක තියෙනවට.

ඉතින් බන් මම යාලුවෙක් නේ!

ඒ වුනාට කොලු යාලුවන්ටත් දෙන්න එපා කියලා තියෙන්නේ  ..ඉන්සටා එකෙන් ඇඩ් කරන් මැසේජ් දාහන්!

එල බන්..මම ගියා එහෙනම්..

ඔකේ බන් පරිස්සමෙන් ශේන්.

බස් එක ඌවත් අරගෙන ගියා මම බැහැපු ගමන්ම.

මම කල්පනා කලේ හැමදාම මම බස් එකට මැදින් පරක්කු වෙලා නැඟලා..ගමනාන්තයට කලින් බහිනවාමයි නේද කියලා.

........................................

ශේන් උඹ මම වෙනස් වෙන්නේ මේ කඩ ඉරට උඩින්..

බස් එක නවතිනකම් ඌ යයි..මොකද එතනින් තව බස් එකක් ගන්න ඕන නිසා.. 

මම ආපහු යන්න ඕන ..පාරෙන් අනිත් පැත්තට පැනලා ආපු තැනටම..උඹ වගේ නෙමේ බන් මම..🙄🖤

ටටා..

 .කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...